ஊடக அறிக்கை

MRCA/A/1/61/Covid-19​​​​​​​
2020.05.22

මාධ්‍ය නිවේදනය

2020.05.21 වන දින මාලිගාවත්ත ප්‍රදේශයේ රාමසාන් ආධාර බෙදාදීමේදි තෙරපීම මත සිදු වූ ඛේදවාචකය

2020.05.21 වන දින මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක රාමසාන් ආධාර බෙදා දීමේ වැඩ සටහනක් අතරතුර ඇති වූ තෙරපුම මත ජීවිත හානි 03 සිදු වී ඇත. තව පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී. මේ සම්බන්ධයෙන් අපගේ බලවත් ශෝකය මියගිය පවුල් වල අය වෙත ප්‍රකාශ කරන අතර තුවාල වූ අයට ඉක්මන් සුවය සඳහා ප්‍රාර්ථනා කරමු. මෙම ආධාර වැඩ සටහන වගකීමකින් තොරව සංවිධානය කල අයගේ ක්‍රියාකලාපය පිළිකුලෙන් හෙළා දකිමු.

කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් පනවා ඇති නීති රීති හා ලබා දී ඇති උපදෙස් තරයේ පිළිපදින ලෙසට මුස්ලිම් ජනතාව දැනුවත් කරන මෙන් මුස්ලිම් දේවස්ථාන වල භාරකාර මණ්ඩල වෙත මෙම දෙපාර්තමේන්තුව, වකූෆ් සභාව එක්ව දැනුවත් කර ඇත. විශේෂයෙන් රමලාන් සමයේ ආගමික වතාවත් පිළිබඳ උපදෙස් චක්‍රලේඛ මාර්ගයෙන් ලබා දී ඇත. ඊට අමතරව ගුවන් විදුලිය, රූපවාහිනිය, සමාජ මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය හරහාද දැනුවත් කිරීම් කර ඇත. මෙවැනි මඟ පෙන්වීම් හා දැනුවත් කිරීම් නොසලකා හැරීම නිසා මාලිගාවත්ත ‍ඛේදවාචකය සිදු වන්නට ඇති බව කනගාටුවෙන් යුතුව පෙන්වා දීමට කැමැත්තෙමි. එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය, ආරක්ෂක අංශවල හා වකූෆ් සභාවේ උපදෙස් තරයේ පිළිපදින මෙන් මුස්ලිම් සමාජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

රාමසාන් උපවාස සමයේ අවසන් ඉදිරි දින කිහිපය හා රාමසාන් උත්සවය (ඊදුල් ෆිත්ර් උත්සවය) සැමරීම පිළිබඳ පහත සඳහන් අයුරු ක්‍රියා කරන මෙන් මුස්ලිම් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

1. මුල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර ජනතාව අතර බෙදා දීමේදි ජනතාව එක්රැස් කිරීමෙන් වැළකි සිටිය යුතුය. එසේ වුවද එසේ එක්රැස් කිරීමට සිදු වුවහොත් ඒ පිළිබඳව අදාල කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හා පොලිසියේ අනුමැතිය ලබා ගත යුතුය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හා මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබා දෙන උපදෙස් අනුව අනිවාර්යයෙන් කටයුතු කළ යුතුය.

2. ආධාර බෙදා දීමට සහභාගි වන සියලු දෙනා මුඛ ආවරණ, අත් ආවරණ පැළඳීම අනිවාර්ය වේ. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් හැකි අවම පිරිසක් යොදා ගනිමින් කටයුතු සංවිධානය කළ යුතුය.

3. අදාළ රාමසාන් උත්සවය පල්ලි තුල හෝ වෙනත් කිසියම් ස්ථානයක ඒකරාශි නොවී පවුලේ අය සමඟ පමණක් නිවසේ සිට සැමරීමට කටයුතු කළ යුතුය.

ඒ.බී.එම්. අෂ්රෆ්
අධ්‍යක්ෂ
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව